Saturday, 10 January 2026

ඩිජිටල් තිරයක අතරමං වූ හදවත: වර්තමාන පරපුර සහ ආදරය

 

''අපි හැමෝම ජීවිතේ එක එක කාල වලදී ආදරය හොයනවා. ආදරය විඳිනවා. සමහරවිට ආදරේ නිසා විඳවනවා. හැබැයි ඇත්තටම 'මොකක්ද මේ ආදරය?' කියන ප්‍රශ්නයට අපිට ලැබෙන උත්තර එකිනෙකට වෙනස්. ඒ වගේම ආදරයත් කාලෙත් සමග වෙනස් වේ. අද මම මගේ බ්ලොග් එකෙන් කතා කරන්න යන්නේ වර්තමාන පරපුර සහ ආදරය පිළිබඳවයි.''

ආදරය කියන්නේ සදාකාලික අලුත් වෙන මාතෘකාවක්. හැබැයි ඒ ආදරය ප්‍රකාශ කරන විදිහ, විඳින විදිහ කාලයත් එක්ක වෙනස් වෙලා තියෙනවා. ආදරය කියන වචනය ඇහුණ සැනින් අපේ මතකයට එන්නේ මීට දශක කිහිපයකට කලින් තිබුණු ලියුම් කවර, හොරෙන් බැලූ බැල්මවල් සහ වචන දහසක් කියපු නිහඬතාවයන්. හැබැයි අද වන විට ඒ සියල්ල වෙනස් වෙලා. අද ආදරය තීරණය වෙන්නේ 'Like' එකකින්, 'React' එකකින් නැත්නම් 'Seen' වුණු මැසේජ් එකකින්.

වර්තමාන පරපුරේ  ආදරය ඇත්තටම මොන වගේද? වර්තමාන පරපුරට සැබෑ ආදරයේ ගැඹුර මගහැරෙනවාද? නැතිනම් ඔවුන් ආදරය කියන හැඟීමට අලුත් අර්ථකථනයක් දෙන්න උත්සාහ කරනවාද? අපි ඒ ගැන ටිකක් ගැඹුරින් කතා කරමු.

      

අද කාලේ ගොඩක් ආදර කතා පටන් ගන්නේ Facebook, Instagram නැත්නම් Dating Apps හරහා. "Swipe Right" කිරීමෙන් සහකරුවෙක් තෝරාගන්න පුළුවන් මට්ටමට තාක්ෂණය දියුණු වෙලා. මේකේ හොඳ පැත්ත වගේම නරක පැත්තකුත් තියෙනවා. එක අතකින් ලෝකයේ ඕනෑම කොනක ඉන්න කෙනෙක්ව මුණගැහෙන්න අවස්ථාව ලැබෙනවා. අනිත් අතින්, පුද්ගලයෙකුගේ සැබෑ ගතිගුණවලට වඩා ඔවුන්ගේ "Profile" එකට ආදරය කරන්න අපි පෙළඹිලා තියෙනවා.

වර්තමාන පරපුර අතර ජනප්‍රියම වචනයක් තමයි "Situationship" කියන්නේ. ඒ කියන්නේ ආදරය කරනවා, හැබැයි ඒකට බැඳීමක්  නැහැ. වගකීම්වලට තියෙන බය සහ තමන්ගේ නිදහස සීමා වෙයි කියන සැකය නිසා බොහෝ දෙනෙක් ස්ථාවර සම්බන්ධතාවයකට යන්න අදිමදි කරනවා. මේ නිසාම හිතේ ඇතිවන තනිකම සහ අවිනිශ්චිතභාවය අද තරුණ පරපුර මුහුණ දෙන ප්‍රධාන මානසික ගැටලුවක් වෙලා.

අතීතයේ ආදරය ඇතුළේ තිබුණේ පුදුමාකාර ඉවසීමක්. එඩ්වඩ් ජයකොඩි ශූරීන් ගයන "එක වසන්තයක එක රාත්‍රියක" ගීතයේ වගේ, එක බැල්මකින් හිත ඇඳ බැඳගෙන ඒ මතකයෙන් අවුරුදු ගණනක් ජීවත් වෙන්න එදා පෙම්වතුන්ට පුළුවන් වුණා. අතීතයේ ආදරවන්තයෙක් දකින්න දවස් ගණන් බලාගෙන ඉන්න වුණා. හැබැයි අද?  අද Video Call එකකින් ඕනෑම වෙලාවක මුහුණ බලන්න පුළුවන්. හැබැයි මේ පහසුව නිසාම "Overthinking" වැඩි වෙලා තියෙනවා. එදා ලියුමක් එනකම් සති ගණන් මඟ බලන් හිටපු පරපුර වෙනුවට, අද තත්පර ගණනක ප්‍රමාදයකින් ආදරය "Seen" කරලා අහක බලාගන්න පරපුරක් බිහි වී ඇත.

 * "එයා මැසේජ් එක බලලත් ඇයි රිප්ලයි කළේ නැත්තේ?"  "එයා ඇයි වෙන කෙනෙක්ගේ පෝස්ට් එකකට ලයික් කළේ?" මේ වගේ පොඩි දේවල් පවා ලොකු රණ්ඩු වලට මුල් වෙනවා.

එදා ආදරේ මතකය වුණේ පොතක් අස්සේ හංගපු වියළි රෝස පෙත්තක් නැත්නම් සුවඳ විහිදෙන ලියුම් කවරයක්. අද මතකය කියන්නේ Instagram වල තියෙන Highlights සහ Story වලට. සමාජ මාධ්‍ය නිසා අපි හැමෝම උත්සාහ කරන්නේ "Perfect Life" එකක් පෙන්වන්න. ආදරය කරන ජෝඩු තමන්ගේ ලස්සනම පින්තූර විතරක් පෝස්ට් කරනවා. මේක දකින අනිත් අය තමන්ගේ සාමාන්‍ය සම්බන්ධතාවය ඒ "Perfect" පින්තූර එක්ක සසඳලා දුක් වෙනවා. ඇත්තම ආදරය තියෙන්නේ ෆෝන් එකේ කැමරාවට පේන තැන නෙවෙයි, කැමරාව ඕෆ් වුණාට පස්සේ ඉතිරි වන අවංකකම ඇතුළෙයි.

විරහව එදත් අදත් එක වගේම රිදෙනවා. හැබැයි එදා විරහව අද වගේ නොවෙයි. අද විරහව කියන්නේ සහකරුගේ Profile එක Block කිරීම, ඔවුන්ගේ පින්තූර Delete කිරීම සහ සෝෂල් මීඩියා හරහා තමන්ගේ දුක ලෝකයටම ප්‍රදර්ශනය කිරීමයි. එදා ආදරය වෙනුවෙන් කවි ලියූ පරපුර වෙනුවට අද ඉන්නේ ආදරය වෙනුවෙන් 'Screenshots , photos , videos' එකතු කරන පරපුරක්. එමෙන්ම අද බොහෝ තරුණ තරුණියන්ගේ ආදර කතා  පවතින්නේ  අවංකත්වය,  විශ්වාසය මත නොව ලිංගිකත්වය මතයි. ලංකාවේ මෑතකාලීන පුවත් දෙස බැලූ විට පෙනෙන ඛේදවාචකයක් තමයි ආදරය කරන කාලයේදී හුවමාරු කරගන්නා වීඩියෝ සහ පින්තූර, සම්බන්ධතාවය බිඳුණු සැනින් පළිගැනීමේ ආයුධ  බවට පත් වෙනවා. මෙය වර්තමාන පරපුරේ ආදරය ඇතුළේ තියෙන අශිෂ්ටත්වය සහ ආත්මාර්ථකාමිත්වය මැනවින් පෙන්නුම් කරනවා.

    


වර්තමාන පරපුර තමන්ගේ ආත්ම අභිමානය (Self-respect) සහ වෘත්තීය ජීවිතය (Career) ගැන ගොඩක් හිතනවා. ඒක ඉතාම හොඳ දෙයක්. හැබැයි සමහර වෙලාවට පොඩි අමනාපයකදී පවා "Toxic" කියලා ලේබල් කරලා සම්බන්ධතාවයකින් ඉක්මනින් ඉවත් වෙන්නත් බලනවා. දේවල් හදාගන්නවා වෙනුවට අලුත් කෙනෙක් හොයාගන්න එක ලේසියි කියලා හිතන "Hook-up culture" එකක් නිර්මාණය වෙලා තියෙනවා. ආදරය කියන්නේ සෙල්ලමක් නෙවෙයි. ඒත් අද පරපුරට ඒක හරියට 'Mobile Game' එකක් වගේ. එක 'Level' එකක් එපා වුණු ගමන් 'Uninstall' කරලා අලුත් එකක් හොයාගන්නවා.

අවසාන වශයෙන්, ආදරය කරන ක්‍රමය කාලයත් එක්ක වෙනස් වෙන්න පුළුවන්. ලියුම් වෙනුවට චැට් මැසේජ් ආවත්, රෝස මල් වෙනුවට ඉමෝජි ආවත්, ඒ හැමදේම අස්සේ අපි හොයන්නේ 'ආරක්ෂාව, ගෞරවය සහ අවංකත්වය' කියන නොවෙනස් වන දේවල් ටිකමයි.  වර්තමාන පරපුරේ ආදරය අභියෝගාත්මකයි, හැබැයි ඒක හරිම විවෘතයි. පැරණි සම්ප්‍රදායන් බිඳගෙන තමන්ට ගැලපෙන කෙනා තෝරාගන්න අද පරපුරට නිදහස තියෙනවා. වර්තමාන පරපුර විදිහට අපි තාක්ෂණයෙන් දියුණු වුණත්, හදවතින් තවමත් ආදරය කියන ඒ නිහතමානී හැඟීමට ඉඩ දෙන්න පුළුවන් නම්, මේ ලෝකය මීට වඩා ගොඩක් ලස්සන වෙයි."

ඩිජිටල් ලෝකයක වුණත්, හදවතින්ම කරන ආදරයකට තවමත් ලොකු වටිනාකමක් තියෙනවා. ඒ නිසා තිරය පිටුපස ඉන්න මනුෂ්‍යයාට ආදරය කරන්න පුරුදු වෙන්න.

 ඔබේ අදහස මොකක්ද? වර්තමාන ආදරය අතීතයට වඩා හොඳයිද? නැත්නම් නරකයිද? පහළින් Comment එකක් දාන්න.

 

8 comments:

සාර්ථක ජීවන ගමන් මඟට කාල කළමනාකරණය

ලෝකයේ වටිනාම වස්තුව රන් හෝ දියමන්ති නොව , ' කාලය ' බව මනුෂ්‍ය ඉතිහාසය පුරාම ඔප්පු වී ඇති සත්‍යයකි. අප සැමට උරුම වන්නේ දිනකට තත්පර 8...