"රටක් සංවර්ධනය වන්නේ, මිනිසුන් සංවර්ධනය වූ පසුවය..."
අපේ දෑස් අද විස්මයෙන් අගය කරන්නේ අහස උසට නැඟුණු කොන්ක්‍රීට් වනාන්තරය. හතර අතට විහිදුණු කළු තාර පාරවල් සහ නවීන තාක්ෂණයේ දිදුලන මායාවන්. නමුත් මේ "සංවර්ධිත" යැයි කියන පෘෂ්ඨයට යටින් පීඩාවට පත් වුණු, මනුෂ්‍යත්වය රිදුණු සහ තෘප්තිය අහිමි වුණු මිනිසුන් සමූහයක් අපට හමු වෙන්නේ නැද්ද?
රටක් යනු හුදු සිතියමක් හෝ භූමියක් නොව, එහි වෙසෙන මිනිසුන්ගේ හුස්ම සහ ආකල්පවල
එකතුවකි. කොතරම් මහා මාර්ග ඉදිවුවත්, ඒවායේ රිය පදවන මිනිසාගේ හික්මීමක් නැත්නම්, කොතරම් රෝහල් හැදුවත් එහි සේවය කරන
මිනිසාගේ කරුණාව හීන වී ඇත්නම්, එම රට
"සංවර්ධිත" යැයි හැඳින්වීම හුදු උත්ප්‍රාසයක් පමණි. සැබෑ සංවර්ධනය යනු
භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට පෙර, උසස්
ගුණධර්මවලින් හෙබි, බුද්ධිමය වශයෙන් දියුණු සහ මනුෂ්‍යත්වයට
ගරු කරන "සංවර්ධිත මිනිසෙකු" නිෂ්පාදනය කිරීමයි.
අද අප මුහුණ දෙන අඳුරු ආර්ථික අර්බුදය, සමාජ මාධ්‍ය තුළ අතරමං වූ හිස් මිනිස්
ජීවිත සහ දිනෙන් දින වළපල්ලට යන සංස්කෘතික සාරධර්ම දෙස බලන විට, මේ කතා කළ යුතුම කාලයයි. රටක් හැදීමට පෙර
මිනිසෙකු හැදිය යුත්තේ ඇයි?
අපේ
මනස සැබවින්ම සංවර්ධනය වී තිබේ ද? අද
අපි ඒ ගැන ගැඹුරින් විමසා බලමු...
අද අප ජීවත් වන්නේ සංවර්ධනය යන්න හුදෙක් ඉලක්කම් සහ දර්ශක මත පමණක් මැන බලන යුගයකය. දළ දේශීය නිෂ්පාදිතය ඉහළ යාම, අහස උසට ඉදිවන මන්දිර සහ නවීන මහාමාර්ග පද්ධතීන් අපට පෙන්වන්නේ රටක බාහිර ඔප දැමීම පමණි. රටක භෞතික සම්පත් කෙතරම් දියුණු වුවද, එම රටේ මිනිසාගේ චින්තනය පටු සහ දූෂිත නම්, ඒ සියලු සම්පත් විනාශ වීමට ගතවන්නේ කෙටි කලකි.
"දූෂණය
සහ වංචාව නතර කළ හැක්කේ නීති මගින් පමණක් නොව, මිනිසාගේ හෘද සාක්ෂිය සංවර්ධනය කිරීමෙනි."
වර්තමාන සමාජය දෙස බලන විට අප දකින
අවාසනාවන්තම තත්ත්වය නම්,
ආර්ථික
වශයෙන් පොහොසත් වීම සඳහා ඕනෑම දෙයක් කිරීමට මිනිසා පෙළඹී සිටීමයි. අද දූෂණය
සහ වංචාව සාමාන්‍යකරණය වී ඇත. රජයේ කාර්යාලයක සිට මහා පරිමාණ ව්‍යාපාරික ස්ථානයක්
දක්වා " අල්ලස්" හෝ "කොමිස්" මුදලක්
නොමැතිව කාර්යයක් කරවා ගැනීම අසීරු වී ඇත්තේ මිනිසාගේ මනස ආර්ථික වශයෙන් පමණක් නොව, සදාචාරාත්මකව ද පිරිහී ඇති බැවිනි. අපට
අවශ්‍ය වන්නේ හොරකමින් සහ වංචාවෙන් ගොඩනැගුණු කෘත්‍රීම ධනවත්කමක් නොව, අවංක ශ්‍රමයෙන් සහ කැපවීමෙන් උපයාගත්
ස්ථාවර ආර්ථිකයකි. මිනිසෙකු තම මනසින් සංවර්ධනය වූ විට, ඔහු තවෙකෙකුගේ අයිතියක් පැහැර ගැනීමට හෝ
පොදු සම්පත් අනිසි ලෙස තර කර ගැනීමට යොදා නොගනී. එවැනි මිනිසුන් පිරිසක්
සිටින රටක දූෂණය නිරායාසයෙන්ම නතර වන අතර, රටේ ධනය නියමිත පරිදි ජනතාව වෙත ගලා යයි.
දුප්පත්කම සහ පොහොසත්කම අතර ඇති අගාධය දිනෙන් දින පුළුල් වීම වර්තමානයේ අප මුහුණ දෙන ප්‍රධාන සමාජ අර්බුදයකි. බොහෝ විට පෝසත් අය තව තවත් වැජඹෙන්නේත්, දුප්පතුන් නොසලකා හැරෙන්නේත් මනුෂ්‍යත්වය අගය කරන සංස්කෘතියක් අප තුළ නොමැති බැවිනි.
අධ්‍යාපනය යනු හුදෙක් උපාධි ලබා ගැනීම හෝ ඉහළ වැටුප් සහිත රැකියාවකට යාම පමණක්ම නොවේ. සැබෑ උගතා යනු තමා ලබන දැනුමෙන් සමාජයේ පහළම ස්ථරයේ සිටින මිනිසා ඔසවා තැබීමට වෙහෙසෙන පුද්ගලයාය. අද අපේ අධ්‍යාපන ක්‍රමය තුළින් තරඟකාරීත්වය මිස සහකම්පනය උගන්වන්නේ නැත. එහි ප්‍රතිඵලය වී ඇත්තේ පෝසත් අය තව තවත් අත්පත් කරගැනීමට වෙහෙසෙන අතර, දුප්පත් මිනිසා කිසිදු පිළිසරණක් නොමැතිව සමාජයෙන් කොන් වී යාමයි.
තවත් කරුණක් නම් හැම දෙයක්ම රජයෙන් ලැබෙන තෙක් බලා සිටින, තමාගේ වගකීම පැහැර හරින පුරවැසියන් සිටින
රටක් කිසිදා දියුණු කළ නොහැක. තමා කරන වෘත්තිය කුමක් වුවත්, එය අවංකව සහ උපරිම කැපවීමෙන් ඉටු කිරීම
සැබෑ දේශප්‍රේමයයි.
මේ අතර වර්තමාන සමාජ මාධ්‍ය භාවිතය අපේ
මිනිසුන්ගේ සංවර්ධනයට මෙන්ම පිරිහීමට ද ප්‍රබල ලෙස බලපා ඇත. Facebook, TikTok වැනි වේදිකා අද බොහෝ දෙනා පාවිච්චි
කරන්නේ අන් අය කෙරෙහි වෛරය පැතිරවීමට, ව්‍යාජ පුවත් ප්‍රචාරය කිරීමට හෝ හුදු ප්‍රදර්ශනකාමී ජීවන රටාවක්
පෙන්වීමටය. මෙකී සංස්කෘතිය තුළ සැබෑ මිනිසා අතුරුදන් වී ඇති අතර, අනුන්ගේ දියුණුව දෙස බලා ඊර්ෂ්‍යාවෙන්
පෙළෙන, අසභ්‍ය දේ නරඹන පරපුරක් බිහි වෙමින් පවතී. සමාජ මාධ්‍ය
තුළින් දැනුම සොයා යනවා වෙනුවට, කාලය
කා දමමින් මානසික ආතතිය සහ සමාජීය අසහනය වර්ධනය කර ගැනීම සංවර්ධිත මිනිසෙකුගේ
ලක්ෂණයක් නොවේ. තාක්ෂණය යනු මෙවලමක් පමණි. එය සංවර්ධනය සඳහා යොදා ගන්නවා ද නැතහොත් තමාගේ පිරිහීම සඳහා යොදා
ගන්නවා ද යන්න තීරණය වන්නේ මිනිසාගේ මානසික සංවර්ධනය මතය.
අවසාන වශයෙන්, රටක් සංවර්ධනය වන්නේ සෑම මනුස්සයෙකුම තම
මනසින් සංවර්ධනය වූ දාටය. ආර්ථික ශක්තිය, අධ්‍යාපනික බුද්ධිය සහ සංස්කෘතික හර පද්ධතීන්ගෙන් සන්නද්ධ වූ "පරිපූර්ණ
මිනිසෙකු" නිර්මාණය කිරීම අපේ ප්‍රමුඛතාවය විය යුතුය. එවැනි මිනිසුන්
සිටින සමාජයක හොරකමට, දූෂණයට හෝ අසාධාරණයට ඉඩක් නැත. යම් දවසක
රටක ජීවත්වන මිනිසුන් තමන්ගේ වගකීම් හඳුනාගෙන, මනුෂ්‍යත්වය අගය කරමින්, ආර්ථික හා සංස්කෘතික වශයෙන් පරිපූර්ණත්වයට පත්වන්නේ ද, එදිනට එම රට නිතැතින්ම සංවර්ධිත රාජ්‍යයක්
බවට පත් වේ. එදිනට අපට සංවර්ධනය ගැන අමුතුවෙන් කතා කිරීමට අවශ්‍ය නොවනු ඇත, මන්ද සංවර්ධනය යනු අප අත්විඳින ජීවන
රටාවම වනු ඇති බැවිනි.
අපට අද අවශ්‍ය වී ඇත්තේ එකිනෙකා පරයා යන සමාජයක් නොව, එකිනෙකා අගය කරන, මනුෂ්‍යත්වයට මුල් තැන දෙන මානව හිතවාදී සමාජයකි. එනම් කොන්ක්‍රීට් වනාන්තරවලින් පිරි දේශයක් නොව, ගුණවත් මිනිසුන්ගෙන් පිරි සැබෑ සෞභාග්‍යමත් මව්බිමකි.
ඔබ සිතන පරිදි රටක සැබෑ සංවර්ධනයට බාධා පමුණුවන ප්‍රධානතම ආකල්පමය ගැටලුව කුමක්ද? ඔබේ අදහස පහතින් Comment කරන්න.
ieshani mirasha☝👀