Saturday, 17 January 2026

ලොව දිනන ගැහැනිය: අභියෝග මැදින් අභිමානය කරා යන ගමන

 "ලෝකය නිර්මාණය වුණේ පිරිමියෙකුගේ ශක්තියෙන් පමණක් යැයි ඔබ සිතනවා නම්, ඔබ තවමත් දකින්නේ සැබෑ ලෝකයෙන් අඩක් පමණි. දරාගැනීමේ මහා ශක්තියත්, ආදරයේ නිම්හිම් නැති ගැඹුරත් එකට කැටි වූ තැන ඇය නිර්මාණය විය. ඇය 'ගැහැනියයි'. පවුලක හදවත බඳු වූ, සමාජයක කොඳු නාරටිය බඳු වූ කාන්තාව, අද ලෝකය තමන්ගේ පාමුලට නතු කරගනිමින් සිටින්නේ කෙසේද? මේ ඒ අභිමානවත් ගමනේ දිග හැරුමයි."



 ලෝකය නිර්මාණය වීමේ පටන් සොබාදහමේ අපූර්වතම නිර්මාණය වන්නේ "කාන්තාවයි". ඇය හුදෙක් රූපයකට පමණක් සීමා වූ තැනැත්තියක් නොව, මුළු මහත් මානව සංහතියේම පැවැත්ම තීරණය කරන මහා ජීව බලයයි. කාන්තාව යනු ඉවසීම, ආදරය, කරුණාව සහ ශක්තිය යන සියල්ලේම එකතුවකි. ඇය දියණියක, සහෝදරියක, බිරිඳක සහ මවක ලෙස විවිධ භූමිකාවන් නිරූපණය කරන්නීය. සරලවම කිවහොත්, කාන්තාව යනු ජීවිතය උත්පාදනය කරන සහ ඒ ජීවිතයට ආදරයෙන් පෝෂණය සපයන ලෝකයේ 'හදවතයි'.

"ගැහැනියක් යනු හුදෙක් ශරීරයක් නොවේ. ඇය ලෝකයේ ආත්මයයි."

බ්‍රිජ්ට් බාඩොට් (ප්‍රංශ නිළිය)

 

ලෝකය නිර්මාණය වී ඇත්තේ පිරිමියාගේ සහ ගැහැනියගේ සමබරතාවයෙනි. නමුත් ඉතිහාසය පුරාම කාන්තාවට හිමිවූයේ දෙවැනි පෙළ ස්ථානයකි. නමුත් අද වන විට එම තත්ත්වය වෙනස් කරමින් ඇය ලෝකයේ අභිබවා ගොස් ඇත. අද වන විට කාන්තාව රාජ්‍ය පාලනයේ සිට අභ්‍යාවකාශය දක්වා සෑම තැනකම තම අණසක පතුරවා ඇත.

  •  සිරිමාවෝ බණ්ඩාරනායක: ලොව ප්‍රථම අගමැතිනිය වෙමින් දේශපාලනයේ ස්ත්‍රී සලකුණ තැබීම.
  •  මලාලා යූසුෆ්සායි: අධ්‍යාපන අයිතිය වෙනුවෙන් වෙඩි උණ්ඩයට පවා මුහුණ දෙමින් නොබෙල් ත්‍යාගය දිනාගැනීම.
  •  මාරි කියුරි: විද්‍යා ලෝකය වෙනස් කරමින් නොබෙල් ත්‍යාග දෙකක් දිනාගත් ප්‍රථම කාන්තාව වීම.

අද වන විට කාන්තාව නිවසින් මිදී ලෝකය දිනන්නට පෙරමුණ ගෙන සිටියි. එහෙත් මේ දියුණුව සමඟ ඇයට උරුම වී ඇත්තේ දැඩි කාර්යබහුලත්වයකි. ඇය උදෑසන අවදි වූ මොහොතේ සිට රාත්‍රිය දක්වා නොනවත්වා වැඩ කරයි.

නිවසේ වැඩකටයුතු මෙන්ම වෘත්තීය ජීවිතයේ වගකීම් සමබර කිරීමට ඇය දරන වෙහෙස අපමණය. අද කාන්තාවට තමා ගැන සිතන්නටවත්, මොහොතක් විවේක ගන්නටවත් කාලයක් නැත. ඇය යන්ත්‍රයක් මෙන් පවුල වෙනුවෙන් සහ සමාජය වෙනුවෙන් තමාගේ සියලු සුවපහසුව කැප කරමින් සිටින්නීය.

අද වන විට කාන්තාව රැකියාව සහ නිවස යන දෙකම සමබරව පවත්වාගෙන යන "සුපිරි කාන්තාවක්" (Superwoman) බවට පත්ව ඇත. එහෙත්, ඇයට හිමිවිය යුතු සැබෑ ගෞරවය තවමත් සමාජයෙන් ලැබෙනවාද? බොහෝ විට ඇය පවුලේ බර අදින නිහඬ වීරවරියක් පමණක් වී ඇත.

සමාජයේ පවතින පුරුෂාධිපත්‍යය සහ පැරණි මතවාද මීට ප්‍රධාන හේතුවයි. "ගැහැනිය නිවසේ සිටිය යුතුයි" හෝ "ඇයට පිරිමියෙකුට තරම් ශක්තියක් නැත" යන මිථ්‍යා විශ්වාස තවමත් මුල් බැසගෙන තිබේ

 


"ගැහැනිය යනු දුර්වල සත්ත්වයෙකු යැයි පැවසීම ඇයට කරන අපහාසයකි. එය පිරිමියා විසින් ගැහැනියට කරන අසාධාරණයකි. ඉවසීම, කැපවීම සහ ආධ්‍යාත්මික ශක්තිය අතින් ගැහැනිය පිරිමියාට වඩා බෙහෙවින් උසස්ය."

මහත්මා ගාන්ධි තුමා

 

"ගැහැනියකට ලෝකය වෙනස් කළ හැකියි, ඇයට අවශ්‍ය වන්නේ අවස්ථාව සහ ගෞරවය පමණි."

 

බුදු සමය සහ කාන්තාවට හිමි වූ ගෞරවය

මීට වසර 2600කට පෙර බුදුරජාණන් වහන්සේ කාන්තාවට හිමි විය යුතු නිසි ගෞරවය ලබා දුන්හ."ඉත්ථී හිපි පණ්ඩිතා හෝති" - ස්ත්‍රිය ද නුවණැති වන්නීය. එදා භාරතීය සමාජය කාන්තාව පහත් කොට සලකද්දී, ඇයට ශාසනයට ඇතුළු වීමට අවසර දෙමින්, ඇයගේ බුද්ධිය සහ ආධ්‍යාත්මික ශක්තිය බුදුහිමියෝ අගය කළහ. මවක් ලෙස මෙන්ම සමාජයේ වැදගත් පුරුකක් ලෙස ඇයව ගෞරවයට පාත්‍ර කළහ. බුදු දහම තරම් කාන්තාවට නිදහස සහ ගෞරවය දුන් වෙනත් දහමක් නොමැති තරම්ය.


වර්තමානයේ කාන්තාවට ලැබී ඇති ගෞරවය



වෙළඳ භාණ්ඩයක් වූ "ඇය"

වර්තමාන වෙළඳ ලෝකය තුළ කාන්තාව හුදෙක් "භාණ්ඩයක්" බවට පත්කර ඇති අයුරු කණගාටුදායකය. රූපවාහිනී දැන්වීම්, වෙළඳ ප්‍රචාරණ පුවරු සහ සමාජ මාධ්‍ය හරහා කාන්තා රූපය විකුණා ලාභ ලබන සංස්කෘතියක් බිහි වී ඇත. විලාසිතා පසුපස හඹා යෑමට බල කිරීම හරහා ඇයගේ සැබෑ අනන්‍යතාවය යටපත් කර, කෘතිම සුන්දරත්වයක් ආරූඪ කිරීමට වෙළඳපොළ උත්සාහ කරයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස කාන්තාව තමන්ගේ සැබෑ ආධ්‍යාත්මික වටිනාකමට වඩා බාහිර රූපයට වහල් වීමට පෙළඹී ඇත.

හිංසනය සහ දූෂණය

තාක්ෂණයෙන් ලෝකය දියුණු වුවද, මනුෂ්‍යත්වය අතින් අද ලෝකය පිරිහී ඇත. කුඩා දියණියන්ගේ සිට මහලු මවුවරුන් දක්වා කාන්තාවන් අද සමාජය තුළ විවිධ හිංසනයන්ට සහ දූෂණයන්ට ලක්වීම දෛනික පුවතක් වී තිබේ. ආරක්ෂාව ලැබිය යුතු තැන්වල පවා ඇය අද අසරණ වී ඇත. මෙය ශිෂ්ට සම්පන්න සමාජයක ලැජ්ජා සහගත තත්ත්වයකි.

විදේශ රටවල කාන්තාවගේ තත්ත්වය

Øඇෆ්ගනිස්ථානය: තලෙයිබාන් පාලනය යටතේ, කාන්තාවන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය තහනම් කර ඇත. ඔවුන්ට රැකියා කිරීමට පවා අවසර නැති අතර, නිවසින් පිටතට යන විට පවා පිරිමි භාරකරුවෙකු සිටිය යුතුය.

Ø  පකිස්ථානය සහ ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශ: මෙහි ගැහැනු ළමයින්ට පාසල් යාම තහනම් කර ඇත. ඔවුන්ට නිවසේ වැඩ කටයුතු කිරීමට හෝ ළාබාල වයසේදී විවාහ කර දීමට බල කෙරේ. මෙවැනි ප්‍රදේශවල, "ගැහැනියකට අධ්‍යාපනයෙන් වැඩක් නැහැ" යන මතය තවමත් පවතී.

Ø  උතුරු අප්‍රිකානු රටවල්: සමහර ගෝත්‍රික සමාජවල කාන්තාවන්ට දේපළ අයිතියක් නොමැත. ඔවුන්ට තම කැමැත්තට අනුව විවාහ වීමට හෝ දික්කසාද වීමට අයිතියක් නැත.

 මෙවැනි තත්ත්වයන් මගින් පෙන්නුම් කරන්නේ කාන්තාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන ආකාරයයි. ඇයට අධ්‍යාපනය ලබා නොදීම, ඇයව සමාජයෙන් කොන් කිරීම ඇයගේ අනාගතය පමණක් නොව රටක අනාගතයද අඳුරු කරයි. මක්නිසාද යත්, කාන්තාවක් උගත් වූ විට, මුළු පවුලම, මුළු සමාජයම උගත් වන බැවිනි.

 

අපි කාන්තා දූෂණය වළක්වමු!

සෑම දිනකම පුවත්පත්වල දකින්නට ලැබෙන කාන්තා අපරාධ අපට මහත් වේදනාවකි. මෙය වැළැක්වීමට නම්:

  • අධ්‍යාපනය: කුඩා කල සිටම පිරිමි දරුවන්ට කාන්තාවට ගරු කිරීමට ඉගැන්විය යුතුය.
  • නීතිය: වැරදිකරුවන්ට උපරිම දඬුවම් කඩිනමින් ලබා දිය යුතුය.
  • ආරක්ෂාව: පොදු ප්‍රවාහනයේදී සහ රැකියා ස්ථානයේදී ඇයට බියෙන් තොරව සිටීමට වටපිටාව සකස් කළ යුතුය.

අපි මොකද කළ යුත්තේ?

üහඬක් වෙමු: කාන්තාවන්ට අධ්‍යාපනය සහ ගෞරවය අහිමිවන සමාජයන් වෙනුවෙන් අපි හඬක් විය යුතුයි.

ü  දැනුවත් කිරීම: ලිපි, වැඩමුළු සහ සමාජ මාධ්‍ය හරහා මේ පිළිබඳව දැනුවත් කිරීම වැදගත්ය.

ü  අධ්‍යාපනයේ වටිනාකම: ගැහැනු ළමයින්ට අධ්‍යාපනයේ වටිනාකම කුඩා කල සිටම කියා දිය යුතුයි.

ü  ප්‍රතිපත්ති සම්පාදනය: කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරැකීමට අවශ්‍ය නීති සහ ප්‍රතිපත්ති සම්පාදනය කළ යුතුය. 


අවසාන වශයෙන්, කාන්තාව යනු හුදෙක් ගෘහණියක් හෝ රැකියා නියුක්තිකයෙකු පමණක් නොවේ. ඇය සමාජයක ප්‍රගමනයේ රියදුරායි. ඇයට නිසි ගෞරවය දීම, ඇයගේ අධ්‍යාපන අයිතිය සුරැකීම සහ ඇයට බියෙන් තොරව ජීවත් විය හැකි වටපිටාවක් නිර්මාණය කිරීම අප සැමගේ වගකීමකි. ඔබ අදම ඔබේ නිවසේ, ඔබේ සේවා ස්ථානයේ සිටින කාන්තාවට ඇයගේ වටිනාකම පවසා ඇයව අගය කරන්න. අපට ලෝකය වෙනස් කළ හැක්කේ එවිටයි.

 


"ගැහැනියක් ශක්තිමත් වූ දිනක, මුළු ජාතියක්ම ශක්තිමත් වේ."

 

ඔබේ අදහස කුමක්ද? ඔබේ ජීවිතයේ ඔබ දුටු ශක්තිමත්ම කාන්තාව කවුද? පහළින් Comment කරන්න.



ieshani mirasha☝👀

Tuesday, 13 January 2026

අතහැර දැමීම නොව, අත්වැලක් වීම…

 

 "අපි කාටත් කවදා හෝ සෙවණක් අවශ්‍ය වෙනවා. ළමා හා මහලු නිවාස ගැන සමාජයේ තියෙන වැරදි ආකල්ප වෙනස් කරමු. ඒවා අත්‍යවශ්‍ය ඇයි කියලා දැනගන්න ලිපිය කියවලා බලන්න." 🤝✨




හිරු බැස යන සැඳෑවක, ජනෙල් පියනක් අද්දර හිඳ මඟ බලා සිටින වියපත් දෑස් දෙකක්... තවත් තැනක, අම්මාගේ උණුසුම සොයමින් හුදෙකලාව හඬන බිළිඳෙක්... මේ දසුන් දෙකම අපේ හදවතේ කොනක තදින්ම රිදුම් දෙන ඒවායි. ලෝකය තාක්ෂණයෙන් දියුණු වුණත්, මිනිසුන් අතර තිබුණු ‘බැඳීම්’ දිය වී යන යුගයක, ළමා නිවාස සහ මහලු නිවාස කියන්නේ හුදෙක් ගොඩනැගිලිවලටම විතරක්ද? නැතිනම් ඒවා අසරණ වූ ජීවිතවලට පණ දෙන හුස්ම පොදක්ද? අද අපි කතා කරමු, සමාජයකට මේ නිවාස ඇත්තටම අත්‍යවශ්‍ය ඇයි කියලා.

ජීවිතය කියන්නේ පුදුමාකාර චක්‍රයක්. අපි හැමෝම උපදින්නේ අනුන්ගේ රැකවරණය පතන බිළිඳෙක් විදිහට. කාලයත් එක්ක අපි ශක්තිමත් තරුණයන් වෙනවා. ඒත් අවසානයේ ආයෙමත් අපි අනුන්ගේ උදව් උපකාර අවශ්‍ය වන මහල්ලෙක් බවට පත් වෙනවා.

අද සමාජයේ බොහෝ දෙනා අහන ප්‍රශ්නයක් තමයි, "ළමා නිවාස සහ මහලු නිවාස ඇත්තටම අවශ්‍යද?" කියන එක. සමහරු මේවා දකින්නේ අතහැර දැමූ මිනිසුන් ඉන්න තැන් විදිහටයි. නමුත් ඇත්තම තත්ත්වය ඊට වඩා ගොඩක් ගැඹුරුයි.

ජීවිතය නමැති මහා සාගරයේ රළ පහරවල් සැමවිටම එක හා සමාන නැත. ඇතැම් රළ පහරවල් අපව ජීවිතයේ ඉහළටම ඔසවා තබන අතර, තවත් රළ පහරවල් අපව තනි කරමින් වෙරළට ගසාගෙන එයි. එහිදී අතරමං වන අහිංසක දරුවෙකුට හෝ වාරු නැති වැඩිහිටියෙකුට නැවත ජීවය ලබා දෙන්නේ මේ කියන "සෙවණ" මගිනි. නූතන සමාජ ව්‍යුහය තුළ මේවා හුදෙක් ගොඩනැගිලිවලින් ඔබ්බට ගිය මානුෂීය මෙහෙවරක් ඉටු කරයි.


ළමා නිවාස: මල් වැනි දරුවන් පරවන්නට නොදී රැකගන්නා තෝතැන්න



ළමා නිවාසයක් යනු හුදෙක් දරුවන් රඳවා තබන ස්ථානයක් නොව, අඳුරු වූ අනාගතයකට ආලෝකය සපයන ප්‍රදීපාගාරයකි. ළමයෙක් කියන්නේ රටක අනාගතය. නමුත් හැම දරුවෙකුටම තමන්ගේ දෙමාපියන්ගේ ආදරය, රැකවරණය ලබන්න වාසනාව ලැබෙන්නේ නැහැ. සෑම දරුවෙකුටම රැකවරණය, සෞඛ්‍යය සහ අධ්‍යාපනය ලැබීමට අයිතියක් ඇත. මව්පියන් අහිමි වූ දරුවෙකුට රජය සහ ස්වේච්ඡා සංවිධාන මැදිහත් වී මෙම අයිතිවාසිකම් තහවුරු කරන්නේ ළමා නිවාස හරහාය.

දෙමාපියන් අහිමි වූ, අතරමං වූ හෝ අතවරයට පත් වූ දරුවන්ට ආරක්ෂිතම නැවතුම්පොළ ළමා නිවාසයයි.

වීදිවල සිඟමන් යැදීමට හෝ අවදානම් වැඩවලට යොමු වීමට ඉඩ ඇති දරුවෙකුට, ක්‍රමවත් අධ්‍යාපනයක් සහ පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා දීමට මෙම ආයතන මැදිහත් වෙනවා. 

හුදෙකලා වූ දරුවෙකුට තවත් දරුවන් සමඟ හැදී වැඩෙන්නට සැලැස්වීමෙන් ඔවුන්ගේ මානසික සෞඛ්‍යය වර්ධනය වෙනවා.

"ළමා නිවාසයක් යනු හුදෙක් ගොඩනැගිල්ලක් නොව, බිඳුණු හීන අලුතින් ගොඩනගන තැනකි." 

 


මහලු නිවාස: සැඳෑ සමයේ සැනසිලිදායක නවාතැන



අපේ රටේ සංස්කෘතිය අනුව දෙමාපියන් බලාගැනීම දරුවන්ගේ වගකීමක්. නමුත් අද පවතින කාර්යබහුල ආර්ථික රටාව තුළ බොහෝ දෙනෙකුට එය ප්‍රායෝගිකව අපහසු වී තිබෙනවා. වයසට යත්ම වැළඳෙන ඇල්සයිමර්, අංශභාගය වැනි රෝගී තත්ත්වයන් සඳහා 24 පැය පුරාම අවධානය අවශ්‍යයි. නිවසේදී ලබා දිය නොහැකි එවැනි වෛද්‍ය පහසුකම් වැඩිහිටි නිවාස තුළින් ලබාගත හැකියි. 

දරුවන් රැකියාවට ගිය පසු දවස පුරා තනිවම බිත්ති හතරකට කොටු වී සිටිනවාට වඩා, තමන්ගේම වයසේ පිරිසක් සමඟ කතාබහ කරමින් සිටීම වැඩිහිටියන්ගේ මානසික සුවයට හේතු වෙනවා.

​නොසලකා හැරීම් මැද පීඩාවට පත්වනවාට වඩා, ගෞරවනීය ලෙස ජීවිතයේ අවසාන කාලය ගත කිරීමට මහලු නිවාස මඟින් අවස්ථාව සැලසෙනවා.

 

සමාජයකට මේවා අත්‍යවශ්‍ය වීමට බලපාන ප්‍රධාන හේතු 5ක්

·       වෙනස් වන පවුල් ව්‍යුහය: විශාල පවුල් වෙනුවට කුඩා පවුල්  බිහිවීමත් සමඟ පවුලේ සාමාජිකයන්ට එකිනෙකා රැකබලා ගැනීමට ඇති කාලය සහ ඉඩකඩ සීමා වී ඇත.

·       ​ආර්ථික පීඩනය: පවුලේ සියලු දෙනාට රැකියාවල නිරත වීමට සිදුවීම නිසා දරුවන් හෝ වැඩිහිටියන් නිවසේ තනිවම අත්හැරීමට සිදුවේ.

·     ස්වභාවික විපත් සහ අනතුරු: හදිසි අනතුරු හෝ වසංගත තත්ත්වයන් නිසා අසරණ වන පිරිසට ක්ෂණික පිළිසරණක් වීමට මෙම ආයතන සූදානමින් සිටී.

·       ​සමාජ ස්ථාවරත්වය: මගතොට සිඟමන් යදින හෝ අතරමං වූ පිරිස අවම වීම රටක ශිෂ්ටාචාරයේ සහ සංවර්ධනයේ කැඩපතකි.

·       ​මානුෂීය මෙහෙවර: අසරණයන්ට උදව් කිරීම තුළින් සමාජයක සානුකම්පිත බව සහ ගුණධර්ම ආරක්ෂා වේ.


අපේ වගකීම කුමක්ද?

​මෙම නිවාස දෙස අනුකම්පාවෙන් බැලීම පමණක් ප්‍රමාණවත් නැත. අපට කළ හැකි දේ බොහෝය:

v ​ඔබේ උපන්දිනය හෝ විශේෂ අවස්ථාවකදී එවැනි ස්ථානයකට දානයක් හෝ අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කරන්න.

v ​ඔවුන් සමඟ සුළු වේලාවක් කතාබහ කරන්න (විශේෂයෙන් වැඩිහිටියන් බලාපොරොත්තු වන්නේ ඔබේ කාලයයි).

v  ​මෙම ආයතන පවත්වාගෙන යන ආකාරය ගැන සොයා බලා, ඒවායේ ගුණාත්මක බව වැඩි කිරීමට ස්වේච්ඡාවෙන් දායක වන්න.



 



අවසාන වශයෙන්...

ළමා නිවාස හෝ මහලු නිවාස කියන්නේ මිනිසුන්ව "අයින් කරන" තැන් වෙන්න නරකයි. ඒවා "අලුත් ජීවිතයක් ලබා දෙන" මධ්‍යස්ථාන විය යුතුයි. සමාජයක් විදිහට අපි කළ යුත්තේ මෙම ආයතන දෙස වපර ඇසින් බැලීම නොව, ඒවායේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට සහ එහි වෙසෙන අයට ආදරය බෙදා දීමට ඉදිරිපත් වීමයි.

ඔබේ අදහස කුමක්ද? මහලු නිවාස සහ ළමා නිවාස ගැන ඔබ දකින්නේ කෙසේද? පහළින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා!

Saturday, 10 January 2026

ඩිජිටල් තිරයක අතරමං වූ හදවත: වර්තමාන පරපුර සහ ආදරය

 

''අපි හැමෝම ජීවිතේ එක එක කාල වලදී ආදරය හොයනවා. ආදරය විඳිනවා. සමහරවිට ආදරේ නිසා විඳවනවා. හැබැයි ඇත්තටම 'මොකක්ද මේ ආදරය?' කියන ප්‍රශ්නයට අපිට ලැබෙන උත්තර එකිනෙකට වෙනස්. ඒ වගේම ආදරයත් කාලෙත් සමග වෙනස් වේ. අද මම මගේ බ්ලොග් එකෙන් කතා කරන්න යන්නේ වර්තමාන පරපුර සහ ආදරය පිළිබඳවයි.''

ආදරය කියන්නේ සදාකාලික අලුත් වෙන මාතෘකාවක්. හැබැයි ඒ ආදරය ප්‍රකාශ කරන විදිහ, විඳින විදිහ කාලයත් එක්ක වෙනස් වෙලා තියෙනවා. ආදරය කියන වචනය ඇහුණ සැනින් අපේ මතකයට එන්නේ මීට දශක කිහිපයකට කලින් තිබුණු ලියුම් කවර, හොරෙන් බැලූ බැල්මවල් සහ වචන දහසක් කියපු නිහඬතාවයන්. හැබැයි අද වන විට ඒ සියල්ල වෙනස් වෙලා. අද ආදරය තීරණය වෙන්නේ 'Like' එකකින්, 'React' එකකින් නැත්නම් 'Seen' වුණු මැසේජ් එකකින්.

වර්තමාන පරපුරේ  ආදරය ඇත්තටම මොන වගේද? වර්තමාන පරපුරට සැබෑ ආදරයේ ගැඹුර මගහැරෙනවාද? නැතිනම් ඔවුන් ආදරය කියන හැඟීමට අලුත් අර්ථකථනයක් දෙන්න උත්සාහ කරනවාද? අපි ඒ ගැන ටිකක් ගැඹුරින් කතා කරමු.

      

අද කාලේ ගොඩක් ආදර කතා පටන් ගන්නේ Facebook, Instagram නැත්නම් Dating Apps හරහා. "Swipe Right" කිරීමෙන් සහකරුවෙක් තෝරාගන්න පුළුවන් මට්ටමට තාක්ෂණය දියුණු වෙලා. මේකේ හොඳ පැත්ත වගේම නරක පැත්තකුත් තියෙනවා. එක අතකින් ලෝකයේ ඕනෑම කොනක ඉන්න කෙනෙක්ව මුණගැහෙන්න අවස්ථාව ලැබෙනවා. අනිත් අතින්, පුද්ගලයෙකුගේ සැබෑ ගතිගුණවලට වඩා ඔවුන්ගේ "Profile" එකට ආදරය කරන්න අපි පෙළඹිලා තියෙනවා.

වර්තමාන පරපුර අතර ජනප්‍රියම වචනයක් තමයි "Situationship" කියන්නේ. ඒ කියන්නේ ආදරය කරනවා, හැබැයි ඒකට බැඳීමක්  නැහැ. වගකීම්වලට තියෙන බය සහ තමන්ගේ නිදහස සීමා වෙයි කියන සැකය නිසා බොහෝ දෙනෙක් ස්ථාවර සම්බන්ධතාවයකට යන්න අදිමදි කරනවා. මේ නිසාම හිතේ ඇතිවන තනිකම සහ අවිනිශ්චිතභාවය අද තරුණ පරපුර මුහුණ දෙන ප්‍රධාන මානසික ගැටලුවක් වෙලා.

අතීතයේ ආදරය ඇතුළේ තිබුණේ පුදුමාකාර ඉවසීමක්. එඩ්වඩ් ජයකොඩි ශූරීන් ගයන "එක වසන්තයක එක රාත්‍රියක" ගීතයේ වගේ, එක බැල්මකින් හිත ඇඳ බැඳගෙන ඒ මතකයෙන් අවුරුදු ගණනක් ජීවත් වෙන්න එදා පෙම්වතුන්ට පුළුවන් වුණා. අතීතයේ ආදරවන්තයෙක් දකින්න දවස් ගණන් බලාගෙන ඉන්න වුණා. හැබැයි අද?  අද Video Call එකකින් ඕනෑම වෙලාවක මුහුණ බලන්න පුළුවන්. හැබැයි මේ පහසුව නිසාම "Overthinking" වැඩි වෙලා තියෙනවා. එදා ලියුමක් එනකම් සති ගණන් මඟ බලන් හිටපු පරපුර වෙනුවට, අද තත්පර ගණනක ප්‍රමාදයකින් ආදරය "Seen" කරලා අහක බලාගන්න පරපුරක් බිහි වී ඇත.

 * "එයා මැසේජ් එක බලලත් ඇයි රිප්ලයි කළේ නැත්තේ?"  "එයා ඇයි වෙන කෙනෙක්ගේ පෝස්ට් එකකට ලයික් කළේ?" මේ වගේ පොඩි දේවල් පවා ලොකු රණ්ඩු වලට මුල් වෙනවා.

එදා ආදරේ මතකය වුණේ පොතක් අස්සේ හංගපු වියළි රෝස පෙත්තක් නැත්නම් සුවඳ විහිදෙන ලියුම් කවරයක්. අද මතකය කියන්නේ Instagram වල තියෙන Highlights සහ Story වලට. සමාජ මාධ්‍ය නිසා අපි හැමෝම උත්සාහ කරන්නේ "Perfect Life" එකක් පෙන්වන්න. ආදරය කරන ජෝඩු තමන්ගේ ලස්සනම පින්තූර විතරක් පෝස්ට් කරනවා. මේක දකින අනිත් අය තමන්ගේ සාමාන්‍ය සම්බන්ධතාවය ඒ "Perfect" පින්තූර එක්ක සසඳලා දුක් වෙනවා. ඇත්තම ආදරය තියෙන්නේ ෆෝන් එකේ කැමරාවට පේන තැන නෙවෙයි, කැමරාව ඕෆ් වුණාට පස්සේ ඉතිරි වන අවංකකම ඇතුළෙයි.

විරහව එදත් අදත් එක වගේම රිදෙනවා. හැබැයි එදා විරහව අද වගේ නොවෙයි. අද විරහව කියන්නේ සහකරුගේ Profile එක Block කිරීම, ඔවුන්ගේ පින්තූර Delete කිරීම සහ සෝෂල් මීඩියා හරහා තමන්ගේ දුක ලෝකයටම ප්‍රදර්ශනය කිරීමයි. එදා ආදරය වෙනුවෙන් කවි ලියූ පරපුර වෙනුවට අද ඉන්නේ ආදරය වෙනුවෙන් 'Screenshots , photos , videos' එකතු කරන පරපුරක්. එමෙන්ම අද බොහෝ තරුණ තරුණියන්ගේ ආදර කතා  පවතින්නේ  අවංකත්වය,  විශ්වාසය මත නොව ලිංගිකත්වය මතයි. ලංකාවේ මෑතකාලීන පුවත් දෙස බැලූ විට පෙනෙන ඛේදවාචකයක් තමයි ආදරය කරන කාලයේදී හුවමාරු කරගන්නා වීඩියෝ සහ පින්තූර, සම්බන්ධතාවය බිඳුණු සැනින් පළිගැනීමේ ආයුධ  බවට පත් වෙනවා. මෙය වර්තමාන පරපුරේ ආදරය ඇතුළේ තියෙන අශිෂ්ටත්වය සහ ආත්මාර්ථකාමිත්වය මැනවින් පෙන්නුම් කරනවා.

    


වර්තමාන පරපුර තමන්ගේ ආත්ම අභිමානය (Self-respect) සහ වෘත්තීය ජීවිතය (Career) ගැන ගොඩක් හිතනවා. ඒක ඉතාම හොඳ දෙයක්. හැබැයි සමහර වෙලාවට පොඩි අමනාපයකදී පවා "Toxic" කියලා ලේබල් කරලා සම්බන්ධතාවයකින් ඉක්මනින් ඉවත් වෙන්නත් බලනවා. දේවල් හදාගන්නවා වෙනුවට අලුත් කෙනෙක් හොයාගන්න එක ලේසියි කියලා හිතන "Hook-up culture" එකක් නිර්මාණය වෙලා තියෙනවා. ආදරය කියන්නේ සෙල්ලමක් නෙවෙයි. ඒත් අද පරපුරට ඒක හරියට 'Mobile Game' එකක් වගේ. එක 'Level' එකක් එපා වුණු ගමන් 'Uninstall' කරලා අලුත් එකක් හොයාගන්නවා.

අවසාන වශයෙන්, ආදරය කරන ක්‍රමය කාලයත් එක්ක වෙනස් වෙන්න පුළුවන්. ලියුම් වෙනුවට චැට් මැසේජ් ආවත්, රෝස මල් වෙනුවට ඉමෝජි ආවත්, ඒ හැමදේම අස්සේ අපි හොයන්නේ 'ආරක්ෂාව, ගෞරවය සහ අවංකත්වය' කියන නොවෙනස් වන දේවල් ටිකමයි.  වර්තමාන පරපුරේ ආදරය අභියෝගාත්මකයි, හැබැයි ඒක හරිම විවෘතයි. පැරණි සම්ප්‍රදායන් බිඳගෙන තමන්ට ගැලපෙන කෙනා තෝරාගන්න අද පරපුරට නිදහස තියෙනවා. වර්තමාන පරපුර විදිහට අපි තාක්ෂණයෙන් දියුණු වුණත්, හදවතින් තවමත් ආදරය කියන ඒ නිහතමානී හැඟීමට ඉඩ දෙන්න පුළුවන් නම්, මේ ලෝකය මීට වඩා ගොඩක් ලස්සන වෙයි."

ඩිජිටල් ලෝකයක වුණත්, හදවතින්ම කරන ආදරයකට තවමත් ලොකු වටිනාකමක් තියෙනවා. ඒ නිසා තිරය පිටුපස ඉන්න මනුෂ්‍යයාට ආදරය කරන්න පුරුදු වෙන්න.

 ඔබේ අදහස මොකක්ද? වර්තමාන ආදරය අතීතයට වඩා හොඳයිද? නැත්නම් නරකයිද? පහළින් Comment එකක් දාන්න.

 

සාර්ථක ජීවන ගමන් මඟට කාල කළමනාකරණය

ලෝකයේ වටිනාම වස්තුව රන් හෝ දියමන්ති නොව , ' කාලය ' බව මනුෂ්‍ය ඉතිහාසය පුරාම ඔප්පු වී ඇති සත්‍යයකි. අප සැමට උරුම වන්නේ දිනකට තත්පර 8...