"ඔබ අද ඇඳ සිටින ඒ ලස්සන ඇඳුම දෙස මොහොතකට බලන්න. එහි සෑම නූල් පොටක් පාසාම අමුණා ඇත්තේ හුදෙක් නූල් පමණක් නොවේ; ඒ පිටුපස කවුරුත් නොදන්නා කඳුළු බිඳක්, හීන සමුදායක් සහ තාරුණ්‍යයේ දහඩිය සුවඳ සැඟවී තිබේ. ලෝකයම ලස්සන කරන, නමුත් තමන්ගේ ලෝකය අඳුරේ දියකර හරින 'ඇඟලුම් දියණියකගේ' හදවතේ ගැස්ම ඔබ කවදා හෝ අසා තිබේද?"
ශ්‍රී ලංකාවේ ආර්ථිකය රන් පවුම්වලින් පුරවන්නට තම තාරුණ්‍යය දියකර
හරින පිරිසක් සිටිති. ඔවුන් "ගාමන්ට් කෙල්ලෝ" ය. මෝස්තරකාර ලෝකයේ දිදුලන
ඇඳුම් පිටුපස ඇති ඒ දෑත්, කඳුළු සහ හුදෙකලා සටන ගැන කතා කරන්නට
කාලය එළඹ ඇත.
පොතක් පතක් අතට ගෙන සරසවි යන්නට හීන දැකපු දෑත්, අද මහන මැෂිමක ඉදිකට්ටක් සමඟ හුස්ම ගනියි. ඔවුන් මෙහි එන්නේ සැප විඳින්නට නොවේ. ගමේ ඉන්න අම්මාගේ බෙහෙත් ටිකට, මල්ලිගේ පොත් ටිකට සහ තාත්තා ගත්ත ණය වාරික ගෙවන්න වෙන්න පුළුවන්. අලුයම හතරට අවදි වී, බත් මුලත් ගැටගසාගෙන පෝලිමේ බස් එකට නගින ඔවුන්ගේ දවස අවසන් වන්නේ මැදියම් රැයට ආසන්නවය. මිනිත්තු කිහිපයක පමාව පවා ඔවුන්ගේ දවසේ වැටුපට හෝ රැකියාවේ සුරක්ෂිතභාවයට බලපායි.
සමාජය ඔවුන්ව හඳුන්වන්නේ විවිධ අපහාසාත්මක නම්වලිනි. නමුත් ඒ අපහාස
කරන බොහෝ දෙනෙකුට වඩා ඔවුන් ගෞරවනීය වන්නේ තමන්ගේ දහඩිය මහන්සියෙන් තවත් පිරිසක්
ජීවත් කරවන නිසාය. නිසි පෝෂණයක් නැති, හරිහැටි
නින්දක් නැති ඔවුන්ගේ ජීවිත තුළ ඇත්තේ මතුපිටින් පෙනෙන ලස්සනට වඩා ගැඹුරු
වේදනාවකි.
ඉතා කුඩා බෝඩිං කාමරයක හතර පස් දෙනෙකු සමග තම ජීවිතය ගැට ගහගන්න දරන
උත්සහය හරි පුදුම සහගතයි.
එකම ඇඳේ දෙන්නෙක් නිදාගන්න, එකම ලිපේ හැමෝම උයාගන්න ඒ පුංචි ලෝකය ඇතුළේ ඔවුන්ට තිබෙන්නේ එකම එක
බලාපොරොත්තුවයි. ඒ තමන්ගේ ජීවිතය තුළ කෙසේ හෝ තම හීන හා බලාපොරොත්තු ඉටුකර ගැනීමයි. එවන් යථාර්ථයට මුහුණ දෙමින් තම ජීවිතය කෙසේ හෝ ගැට ගහගන්න උත්සහ දරන
ධෛර්යමත් තරුණියකගේ කතාවයි මේ......
ඇය සහ මම අතර කතාවක්
සවස හයට විතර කටුනායක හංදිය තදබදයෙන් පිරිලා. ඒ කලබලය අස්සේ මට හමු
වුණා ඇඟලුම් සේවයේ නිරත වන තරුණියක්. ඇය මලානික වී සිටියා.ඇගේ රතු වෙච්ච
දෑස්වල ඇත්තේ දවස පුරා එක දිගට මැෂිමකට ඇස් තියාගෙන හිටපු මහන්සිය.
මම ඇය සමඟ මොහොතක් කතා කළා. ඇය දුර පළාතක පුංචි ගමක තරුණියක්....මම
ඇගෙන් ඇහුවා, " ඇත්තටම කොහොමද ගාමන්ට් ජීවිතේ?"
ඇය මද සිනහවක් පෑවා. ඒ සිනහවේ තිබුණේ සතුටකට වඩා දරාගැනීමක්.
මේ ඇයගේ කතාවයි.....
"අක්කේ, උදේ 7.30 වෙද්දී මම මැෂිම ගාව ඉන්න ඕනේ. ඊට පස්සේ පැය අටක්, දහයක් යනකම් ලෝකයක් පේන්නේ නැහැ. ඇස් දෙක තියෙන්නේ ඉඳිකට්ට ගාව. සුපර්වයිසර්ලාගේ 'ටාගට්' වල සද්දේ මැෂින් සද්දෙටත් වඩා වැඩියි. සමහර දවස්වලට වතුර උගුරක් බොන්න පවා වෙලාවක් නැති තරම් වැඩ."
ඇය කියන්නේ ඇඟලුම් සේවිකාවකගේ දෛනික යුද්ධය ගැනයි. අපිට පේන්නේ
ඔවුන් අඳින ලස්සන ඇඳුම් සහ ඔවුන්ගේ නිදහස් දවස විතරයි. නමුත් ඒ දෑත්වල හයියයි,
ඇඟිලි තුඩුවල ඉඳිකටු පාරවල් ගැන කවුරුත් දන්නේ නැහැ.
මම ඊළඟට ඇහුවේ බොහෝ දෙනෙක් අහන්න බය ප්‍රශ්නයක්. "ඇයි සමාජය
ඔයාලා දිහා අමුතු විදිහකට බලන්නේ?"
ඇයගේ දෑස් කඳුළින් පිරුණා.
"අක්කේ, අපි ගමට ගියාම හැමෝම අහන්නේ 'ගාමන්ට් එකේද වැඩ කරන්නේ?' කියලා. ඒ අහන විදිහේ පුදුම අසරණකමක් දැනෙන්නෙ. අපි හම්බ කරන්නේ
කාගෙන්වත් හිඟා කාලා නෙවෙයි අක්කේ.
"අපිට ගරු නම්බු ඕනේ නැහැ අක්කේ, මනුස්සකම විතරයි ඕන..."
ඇය කියන ඒ කතාව ඇත්තක්. ලංකාවේ ආර්ථිකයේ කොඳු නාරටිය මොවුන් වුවත්,
සමාජය ඔවුන්ව හංවඩු ගසා ඇත්තේ "ගාමන්ට් කෙල්ලෝ" යන
පහත් අරුත දෙන නාමයකින්.
"අක්කේ, මම මෙතන දුක් විඳින්නේ මල්ලිට උගන්වන්නයි, තාත්තාගේ වකුගඩු බෙහෙත්වලටයි. මාසේ අන්තිමට පඩිය අරන් ඒ සල්ලි ටික
ගෙදරට යැව්වාම ලැබෙන සතුට තමයි මාව මේ මැෂිම ගාව තව දවසක් රඳවන්නේ."
අවසන් මොහොතේ ඇයගෙන් සමුගෙන එද්දී මට හිතුණේ එකම දෙයයි. ඇය වැනි දහස් ගණන් තරුණියන්ගේ හුස්ම පොද මේ රටට කොතරම් වැදගත් ද යන්න යි. ඔවුන්ට අවශ්‍ය වන්නේ ඔබේ අනුකම්පාව නොව, ඔවුන්ගේ රැකියාවට ලැබිය යුතු ගරුත්වයයි.
අද ඔබ ඇඳගෙන සිටින මිල අධික ඇඳුම දෙස බලන්න. එහි සෑම නූල් පොටකම මැය
වැනි තරුණියන්ගේ
කඳුළක්, දහඩිය බිඳක් සහ තාරුණ්‍යයේ බලාපොරොත්තුවක් සැඟවී තිබේ. ඒ දෑත්වලට
ගෞරව කරන්න. ඔවුන් මේ රටේ ආර්ථිකයේ සැබෑ ශක්තියයි.
අප කළ යුත්තේ කුමක් ද?
ඔවුන්ට අවශ්‍ය වන්නේ අනුකම්පාව නොවේ; ගෞරවයයි.
1. ඔවුන්ව වෘත්තිකයන් ලෙස පිළිගැනීම.
2. ඔවුන්ගේ සේවයට සරිලන සමාජ පිළිගැනීමක්
ලබා දීම.
3. පීඩනයකින් තොරව රැකියාව කළ හැකි ආරක්ෂිත
වටපිටාවක් නිර්මාණය කිරීම.
වර්තමාන ලෝකය තුළ දහස් ගණන් තරුණ තරුණියන් අදටත් මහන මැෂින් අස්සේ
තමන්ගේ තාරුණ්‍යය දියකර හරින්නේ අපේ රටේ හුස්ම පොද රැකගන්නට ය. ඇඟලුම් ක්ෂේත්රය යනු හුදෙක් රෙදි කැබලි මසන තැනක් නොව, මේ රටේ ආර්ථිකයේ මහා බලකණුවයි.
අප කළ යුත්තේ ඔවුන් දෙස අවතක්සේරුවෙන් පහත් අයුරින් බැලීම නොව, ඔවුන්ගේ දහඩියට හිමි නිසි ගෞරවය ලබා දීමයි. මීළඟ වතාවේ මඟතොටදී හෝ බස් රථයක දී ඇඟලුම් සේවිකාවක ඔබ අසලින් යන විට, ඇය දෙස මනුෂ්‍යත්වයේ දෑසින් බලන්න. ඇය අඳින ඇඳුම හෝ ඇය කරන රැකියාව දෙස බලා ඇයව මැනීම නතර කරන්න.
මතක තබා ගන්න...
ඔබ අද අඳින ලෝකයේ ප්රමුඛ පෙළේ වෙළඳ නාම (Brands) පිටුපස සිටින්නේ අපේ රටේ මේ අහිංසක තරුණියන් ය. ඒ මෝස්තරකාර ඇඳුමේ
ලස්සන පිටුපස ඇත්තේ, ගමේ සිට නගරයට ආ අහිංසක කෙල්ලකගේ නොනිඳන
රැයවල් සමුදායකි. ඒ දෑත්වලට, ඒ හීනවලට සහ ඒ කැප කිරීමට අපි ගරු කරමු. ඔබ
අඳින ඇඳුමේ ලස්සනට වඩා ඒ පිටුපස ඇති මනුෂ්‍යත්වය අගය කරන්න. මන්ද, ඔවුන් මේ රටේ ආර්ථිකයේ සැබෑ "රන් පියාපත්" වන බැවිනි.
"ඇය හුදෙක් සේවිකාවක් නොව, රටක් රකින වීරවරියකි"
ඔබ මොකද සිතන්නේ....ඔබේ අදහස පහලින් comment කරන්න…
ieshani mirasha☝👀



අනිවාරෙන්ම මේ කතාවෙ අවධාරණය කරල තියන හැම කරුණක්ම ඇත්ත… සෑම වෘත්තියකටම අවශ්‍ය වන්නෙ ඊට අදාල ගරුත්වයයි.. 💪❤️
ReplyDelete❤️😊
Delete❤️❤️❤️
ReplyDelete❤️❤️
ReplyDelete